මහාචාර්ය, පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි
ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට, ශිෂ්‍යාගෙන් ගුරුවරයාට ඉටු විය යුතු යුතුකම් ගැන බුදුදහම අනුව කැරෙන විග්‍රහයකි මේ. මිනිසා තිරිසනාගෙන් වෙන් කොට පරිපූර්ණ මිනිසකු බවට පත් කරනු ලබන්නේ අධ්‍යාපනයෙනි. අධ්‍යාපන යන වචනය අධි-ආපන යන වචන දෙක එක් වීමෙන් සෑදී තිබේ. අධි යනු උසස් අර්ථයෙන් ද ආපන යනු පැවැත්ම යන අර්ථයෙන් ද යුක්ත වේ. එනයින් මෙම වචන දෙකෙන් සෑදුණු අධ්‍යාපනය යනු උසස් පැවැත්ම යන අර්ථය ජනනය කරයි. පූර්වාචාර්යවරුන් ලෙස සැලකෙන දෙමවුපියෝ තම දරුවන්ට නිවැරැදි ලෙස ලෝකය පිළිබඳ මූලික පාඩම් උගන්වා, ඉන් අනතුරු ව පුළුල් වූ සමාජ සම්බන්ධතාවක් වෙත දරුවා යොමු කරති. එය පාසල යි. පාසලේදී ගුරුවරයා හා ගුරුවරිය දෙවැනි මවුපියන් බවට පත් වෙති. අප බෞද්ධ සමාජයේ ‘ගුරු පියා’, ‘ගුරු මව’ ආදි වශයෙන් හැඳින්වෙන ආචාර්යවරුන් පිළිබඳ ඇත්තේ මේ සුවිශේෂ වූ ආකල්පය යි. වර්තමානයේ ගුරුවරාදීන් පිළිබඳ පවත්නා ආකල්පය හා චර්යා බොහෝ දුරට වෙනසකට ලක් වී ඇත. අපේ පැරැණි අධ්‍යාපන ක්‍රමය කාලයාගේ ඇවෑමෙන් සංවර්ධනය වී, අධ්‍යාපනයේ වගකීම සම්පූර්ණයෙන් රාජ්‍ය අංශය වෙත පවරාගැනීම මඟින් ගුරු වෘත්තිය රාජකාරියක් බවට පරිවර්තනය විය. ඒ අනුව ගුරුවරයා හා ශිෂ්‍යයා පිළිබඳ යුතුකම් පද්ධතිය අයිතිවාසිකම් බවට පරිවර්තනය වී ගියේ ය. අයිතිවාසිකම් නිසා උද්ඝෝෂණ, වර්ජන, තර්ජන සමාජය තුළින් නිතර ඇහෙන්නට විය. කෙටියෙන් දක්වතොත් භික්ෂුව පවා තම අයිතිවාසිකම් වෙනුවෙන් මානව අයිතීන් වෙනුවෙන් උසාවියට යන තත්ත්වයට පත් වී ඇත. රියැදුරු බලපත්‍රය පිළිබඳ ගැටලුවකට භික්ෂුවක නඩු මගට බට අවස්ථාව මෙයට නිදසුනකි. බුදු සමයේ ගුරු-ශිෂ්‍ය සම්බන්ධය යුතුකම් හා බැඳී පවතී. සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වන ලද ගුරු-ශිෂ්‍ය යුතුකම් පද්ධතියේ ඇතැම් කරුණු නූතන අධ්‍යාපන ක්‍රමය සමඟ නොගැළපුණත් එම යුතුකම්හි පවත්නා අන්තර්ගතය නූතනයේ අප සමාජයට ද වැදගත් වනු ඇත. පුද්ගලයකුගේ ජීවිතයට ගුරුවරයාගේ බලපෑම අනිවාර්ය වේ. යහපත් ගුරුවරයාගේ බලපෑමෙන් ප්‍රගතියක් සිදු වන අතර, අසාර්ථක හා දුර්වල ගුරුවරයකුගෙන් ඒ ශිෂ්‍යයා තුළ ඇති දක්ෂතා යටපත් වී යෑමට බොහෝ දුරට ඉඩ-කඩ ඇත. ඇතැම් දක්ෂ සිසුන් ගුරුවරුන්ගේ නොසැලකිල්ල නිසා අධ්‍යාපනය කඩාකප්පල් කරගත් අවස්ථා ඕනෑ තරම් අප සමාජය තුළින් දැකගත හැකි ය. මේ නිසා ගුරුවරයාගේ යුතුකම් හා වගකීම් ශිෂ්‍යයාට වඩා බලගතු වන්නේ ය. පෙර ද කී සේ ගුරුවරයා පාසලේදී, සිසුවාගේ දෙමවුපියන් බවට පත් වෙයි. මේ නිසා සිසුවා වෙත ගුරු සිතෙහි ‘මේ අහිංසක දරුවන්ගේ ජීවිතයේ අනාගතය තීරණය වන්නේ මා අතිනි. මා ඒ සඳහා කැප විය යුතු ය’යි අනුකම්පාව තිබීම අත්‍යවශ්‍ය ය. ඒ නිසා පළමු කොට සිසුවා ආචාර සම්පන්න කෙනකු ලෙස හික්මවිය යුතු ය. ක්‍රීඩාවට විනෝදයට හුරු, ජීවිතය පිළිබඳ කිසිදු බරක්-පතළක් නොදක්නා දරුවකු ඉතා ඉවසීමෙන් යුතු ව මවක සහ පියකු ලෙස මැදිහත් ව හික්මවීමට නිවෙසක දෙමවුපියන්ට වඩා හැකියාවක් ගුරුවරයාට තිබිය යුතු ය. සිගාලෝවාද සූත්‍රයට අනුව ‘සුවිනීතං විනෙත්ති’ සිසුවා මනා ව හික්මවීම ගුරුවරයාගේ පළමු යුතුකම යි. දෙවනු ව ‘සුග්ගහිතං ගාහාපෙන්ති’ ගුරුවරයා සිසුවාට හොඳින් ඉගැන්විය යුතු යි. රැකියාවක් පිළිබඳ මානසිකත්වයෙන් බැහැර ව සිසු දරුවාට මනා ව අවබෝධ වන අයුරින් ඒ ඒ විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම අපහසු කටයුත්තකි. සිසුන්ගේ බුද්ධි මට්ටම්වල විෂමතාවන් හා ගුරුවරුන්ගේ හැකියාවන්හි ඇති වෙනස්කම් නිසා, සාර්ථක ගුරුවරයකු වීම හා ගුරුවරියක වීම අපහසු කාර්යයකි. එහෙත් ඒ සඳහා කැප වීමෙන් හා උත්සාහයෙන් ඔබට සාර්ථක දක්ෂ ගුරුවරයකු හෝ ගුරුවරියක වීමට හැකි බව තේරුම් ගත යුතු ය. ‘සබ්බං සිප්ප සුතං සමක්ඛායිනො භවන්ති’ තුන් වැනි යුතුකම වන්නේ ගුරුවරයා තමන් දන්නා වූ ශිල්පයක් නොසඟවා සිසුන්ට කියා දීම යි. අද ඇතැම් ගුරුවරු පාසලේදී විෂය නිර්දේශය නූගන්වා, සවස තමාගේ පෞද්ගලික පන්තියේ දී වඩා උනන්දුවෙන් ඉගැන්වීමේ කටයුතු කරනු අසන්නට දකින්ට ලැබේ. මෙයින් දුප්පත් දරුවා සුරාකෑමකට ලක් වන බවත් එය මහත් පාපකර්මයක් බවත් එබඳු ගුරුවරුන් තේරුම් ගත යුතු ය. එසේ ම ඇතැම් ගුරුවරයකු හෝ ගුරුවරියක අලසකම නිසා හෝ වෙනත් හේතුවක් නිසා සිසුන්ට තමන් දන්නා දේ නූගන්වන්නේ නම් තමන් ලබන්නා වූ වේතනය, සොරාගත් ධනයක් ලෙස සිතිය යුතු ය. එය ද පාපකර්මයකි. එය දහමට පටහැණි ය. සිසුන්ට ඉතා හොඳින් කැප වීමෙන් ගුරු සෙනෙහසින් උගන්වන ගුරුවරාදීන්ගේ දරුවෝ සාර්ථක ජීවිත ගත කරන්නෝ වෙති. වංචා සහගත ව වැටුපට නාම මාත්‍රික ව පෙනී සිටින ගුරුවරාදීන්ගේ දරුවන්ගේ ජීවිත ද කාලකණ්ණි වී ඇති බව එවිට ඔබට තේරුම් ගැනීමට හැකි වනු ඇත. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්මයේ සැබෑ ස්වරූපය එය යි. දැහැමි ලෙස කරන දෙයින් ඔබගේ අපේක්ෂාවන් ඉටු වී, දියුණුවත් සතුටත් ඇති වන්නේ ම ය. ගුරුවරයාගේ සතර වැනි යුතුකම ලෙස සැලැකෙන්නේ ඒ ඒ දක්ෂ සිසුන් තම මිතුරන්ට, බාහිර සමාජයට හඳුන්වා දීම යි. මැණිකක් කපා හැඩ වැඩ කොට පලඳින්නා සේ දක්ෂයාගේ දස්කම් මතු කොට ලොවට හඳුන්වා දීම අවශ්‍ය කරුණකි. ඒ සඳහා ගුරුවරයාගේ වගකීම විශාල වේ. පස් වැනි යුතුකම ශිෂ්‍යයාට බාහිර වශයෙන් මුහුණපෑමට තිබෙන උවදුරුවලින් ආරක්ෂා කිරීම යි. ‘දිසාසු පරිත්තානං කරොන්ති.’ ගුරුවරයා ශිෂ්‍යයාගේ හැසිරීම කෙරෙහි පමණක් නොව, ඔහු ඇසුරු කරන්නන් පිළිබඳ ව ද විමසිල්ලෙන් සිටිය යුතු ය. පාසල් සිසුන් විවිධ අපචාරයන්ට ලක් වන අවස්ථා, ගුරුවරුන්ට තම සිසුන් පිළිබඳ අවදියෙන් සිටීමෙන් වැළැක්විය හැකි බව වටහාගත යුතු ය. මෙතරම් ශිෂ්‍ය සංඛ්‍යාවක් දෙස ගුරුවරයාට ඇස ගසා සිටිය හැකි දැ යි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. එහෙත් එය ප්‍රශ්නයට පිළිතුරක් නො වේ. ගුරුවරුන් අතර බොහෝ පිරිසක් එසේ අවධානයෙන් සිටියොත් සමාජයේ එවන් ඛේදජනක සිදුවීම්වලින් සිසුන් ගලවාගැනීමට හැකි වනු ඇත. සමාජය මෙලෙස වත් ආරක්ෂා වී තිබෙන්නේ එබඳු ගුරු-දෙගුරුන් නිසා මිස, තමාගේ පාඩුවේ සිටින ආත්මාර්ථකාමීන් නිසා නො වේ. මීළඟට දැක්වෙන්නේ ශිෂ්‍ය යුතුකම් පද්ධතිය යි. ඉන් පළමු යුතුකම වන්නේ (උට්ඨානේන) ගුරුවරයා දැක හුනස්නෙන් නැඟී සිටීම යි. ශිෂ්‍යයා තුළ ගුරු ගෞරවය අනිවාර්යයෙන් ම තිබිය යුතු බව බෞද්ධ සමාජ ධර්මයෙහි පිළිගැනේ. මේ ඒ ගුරු ගෞරවය සංකේතවත් කරන අවස්ථාවකි. ගුරුවරයා දුටු විට, ගුරුවරයා පන්තියට පැමිණි විට හුනස්නෙන් නැඟී සිටීමේ සිරිත පාසල්වල තවමත් දැකගත හැකි වුවත් අවාසනාවකට මෙන් විශ්වවිද්‍යාල තුළ මේ සිරිත අහෝසි වී ඇති බව පෙනේ. සමහර විට පෞද්ගලික පන්ති ක්‍රමය නිසා මෙබඳු පරිහානියක් සිදු වූවා ද යන්න පරීක්ෂා කළ යුතු ය. ලාංකික විශ්වවිද්‍යාලවල ආරම්භය බටහිර ආභාසයෙන් ලද්දක් බැවින් බටහිර සංකල්ප ඒ තුළ ක්‍රියාත්මක විය. ‘නිදහස’ යන්න එහි ප්‍රධාන අංගයක් විය. එසේත් නැත් නම් විශ්වවිද්‍යාලයට පැමිණි සිසුන් ජ්‍යෙෂ්ඨයන්ගේ ආදර්ශය අනුගමනය කරනවා විය හැකි ය. ගරු කළ යුත්තාට ගරු නොකරන මිනිසා පරිහානියට පත් වන බව අප තේරුම් ගත යුතු ය. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන සිසු යුතුකම් පද්ධතියෙහි ඇතැම් යුතුකම් වර්තමාන අධ්‍යාපන ක්‍රමය හා නොගැළපෙන බවක් පෙන්නුම් කරයි. අතීතයෙහි පැවැති තක්ෂිලා වැනි ආයතනවල පැවැතියේ නේවාසික අධ්‍යාපන ක්‍රමයකි. ගුරුවරයාට අත්පා මෙහෙවර කිරීම (පාරිචරියා) සහ ගුරුවරයාට උපස්ථාන කිරීම (උපට්ඨානේන) යන යුතුකම් දෙක නූතන අධ්‍යාපන හා ඍජු ව අදාළ නොවන බව පෙනුණත්, ඒ යුතුකම් දෙකෙන් පැහැදිලි කැරෙන්නේ ගුරුවරයාට ද දෙමවුපියන්ට මෙන් සලකා උපස්ථාන කළ යුතු බවකි. ශිෂ්‍යයාගේ පස් වැනි යුතුකම වන්නේ ගුරුවරයාට හොඳට ඇහුම්කන් දී, උගන්වන දෙය මැනැවින් ඉගෙනීමයි. ගුරුවරයාට ශිෂ්‍යයා පිළිබඳ ව ආදරය, දයාව, වර්ධනය වන්නේ තමන් ඉගැන්වූ දෙය ශිෂ්‍යයා මනා ව අවබෝධ කරගත හොත් පමණි. ගුරුවරයා තුළ එම සතුට ඇති කරවීමට ශිෂ්‍යයා හොඳින් උගත යුතු ය. ඔහු හොඳින් ඉගැනීම සියලු දෙනාගේ ම සතුට හා යහපත පිණිස හේතු වන්නේ ය.
එළිය වැටුණු ජීවිතයකට, සුවපත් ජීවිතයකට අවශ්‍ය මඟපෙන්වීමක් මේ ලිපියෙන් සිදු වේ. ලේඛකයා ‘බුදුසරණ’ පත්‍රයේ හිටපු ප්‍රධාන සංස්කාරකවරයෙකි.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨයන් අතරින් මිනිස් ජීවිතය පිළිබඳ පැහැදිලි වූත්, ගැඹුරු වූත්, පරිපූර්ණ වූත් පර්යේෂණ හා අත්හදාබැලීම් සිදු කර, නිගමනයනට එළැඹ, සාර්ථක මිනිසා කවරෙක් ද? යන වග මෙන් ම ඒ සඳහා මඟ ද පෙන්වා දුන් මානව හිතවාදි ශ්‍රේෂ්ඨතම පුද්ගලයා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ය. උන් වහන්සේ පෙන්වා වදාළ ඒ මඟ දැන-හැඳින, ඒ අනුව යෑම, ජීවිතයේ සැපත, සතුට, සැනසුම, වාසනාව හා ජය ළඟා කරගැනීමට ඒකායන මාර්ගය යි.
තමන් වහන්සේ දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මයෙන්, අවවාදයෙන් මතු නොව, ජීවන චරිතයෙන් ආදර්ශයෙන් ම පෙන්වා වදාළ කාරණාකාරණාවලින් ද, මිනිස් ජීවිතයේ වටිනාකම, එහි යථාර්ථය, ජීවිතයකින් උපරිම ඵල නෙළාගන්නා ආකාරය මෙන් ම, ස්වාර්ථය සලසාගන්නා අතර පරාර්ථය සලසන ආකාරය ද උන් වහන්සේ පෙන්වා වදාළහ. මෙලොවින් නොනැවැතී පරලොව ද යහපත් කරගෙන අවසානයේ සංසාර විමුක්තිය උදා කරගන්නාවූ මාර්ගය ද ඒ දහම තුළ අන්තර්ගත ය.
බුද්ධ දේශනාවට අනුව අපේ සිතිවිලි හා අපේ ක්‍රියාකාරකම් ජය ගත හැකි වනුයේ, තම-තමන්ගේ ම උත්සාහයෙනි. අන් අයට තමාගේ ගැලවුම්කාරයකු හෝ විමුක්තිදායකයකු විය නොහැකි ය. ඒ බැව්, “තුම්මේහි කිච්චං ආතප්පං” යනුවෙන් “ඔබගේ යහපත ඔබ ම ළඟා කරගත යුතු ය” යන ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
තනි ව ම මෙලොවට ජනිත ව, කායික හා මානසික අවශ්‍යතා තනි-තනි ව ම සපුරාගනිමින් ජීවිතය ගෙවා අවසානයේ තනි ව ම මිය යෑම සදාතනික සත්‍යයකි. බාහිර පුද්ගලයන්ගෙන්, අප අපේ ජීවත් වීම උදෙසා උදව්-උපකාර, උපදෙස්, මාර්ගෝපදේශන ආදිය ලබාගත්තත් ජීවිතය ගෙනයන්නේ තමා පමණක් බව ඔබට ම අත්දැකීමෙන් ම පැහැදිලි වනු ඇත. දෙමවුපිය, ගුරුවර, සහෝදර-සහෝදරියන්, හිතවතුන්, වැඩිහිටියන් මේ ආදි සියල්ලෝ ‘බාහිර’ උදව්කරුවෝ පමණකි. අපේ ජීවිතයේ උපතේ පටන් මිය යන තුරු මුහුණ දෙන, සම්බන්ධ වන, ක්‍රියා කරන, සිතන-පතන, මේ සියල්ල එකිනෙක ගෙන කල්පනා කළ හොත් අප නිර්මාණය කරගන්නේ අප විසින් ම ය. යහපතට හෝ අයහපතට යොමු කරගත හැකි වන්නේ ද තමාට ම ය.
“අත්තදීපා විහරථ – අත්ත සරණා අනඤ්ඤ සරණා” යනුවෙන් තමාට තමා පහනක් වන්නැයි දේශනා කරමින්, “ධම්මදීපා විහරථ – ධම්ම සරණා අනඤ්ඤ සරණා” යි ධර්මය ම පහනක් හා පිහිටක් කරගන්නා ලෙස බුදුරදුන් දේශනා කර වදාළේ එහෙයිනි.

තමෝතම පරායන සූත්‍රයෙහි මිනිසා ක්‍රියා කරන ආකාරය සතරාකාර වන බව දැක්වේ.
1. අඳුරෙන් අඳුරට යන අය (තමෝ තම පරායනෝ)
2. අඳුරෙන් එළියට යන අය (තමෝ ජෝති පරායනෝ)
3. එළියෙන් අඳුරට යන අය (ජෝති තම පරායනෝ)
4. එළියෙන් එළියට යන අය (ජෝති ජෝති පරායනෝ)
මෙහි එකින් එක ගෙන විස්තර නොකළත්, අප උත්සාහ කළ යුත්තේ, දෙවනුව හා සිව්වනුව සඳහන් කළ, අඳුරෙන් එළියට (තමෝ ජෝති පරායනෝ) යන අය හා එළියෙන් එළියට (ජෝති ජෝති පරායනෝ) යන අය ලෙස ජීවිත ගෙනයෑමට යි. එය ජීවිතය ජය ගැනීමේ මාර්ගය යි. ඒ සඳහා බුදු රජාණන් වහන්සේ සුපැහැදිලි මගක් පෙන්වා වදාළහ.
චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්‍ෂණය, පටිච්ච සමුප්පාදය, කර්මය හා පුනර්භවය, ති‍්‍රශික්ෂාව පිළිබඳ දැනුමක් අත් කරගැනීමෙන් ජීවිතය පිළිබඳ යථාර්ථය හෙවත් යථාවබෝධය උදා කරගැනීමට අප උත්සාහ කළ හොත් රාග, ද්වේෂ, මෝහ යන අකුසල් හෙවත් වැරැදි සිතිවිලි හා ක්‍රියාකාරකම් ජීවිතයෙන් ඈත් වීමෙන් මානසික-කායික සැනසීම ළඟා කරගත හැකි වන්නේ ය. ඉන් නොසෑහී දානය, පි‍්‍රයවචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් සමාජ සාරධර්ම ඉටු කිරීමටත්, උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණමිත්තතා, සමජීවිකතාදි වූ සම්පත් දියුණු කරගැනීමටත්, මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා වශයෙන් වන සතර බඹ විහරණයෙන් යුක්ත ව සිත-කය හැසිරවීමටත්, අන්‍යොන්‍ය වශයෙන් සමාජය හා තමා අතර ඇති සබඳතා ගොඩනඟාගැනීමටත්, ඡන්ද - දෝෂ – භය - මෝහ ආදි වූ සතර අගතියෙන් වැළැකීමටත් පුරුදු-පුහුණු වීමෙන් ජීවිතයකින් උපරිම ඵල නෙළාගැනීමේ අවස්ථාව උදා වන්නේ ය.
හොඳ-නරක පිළිබඳ අවබෝධයකින් ද, පින්-පව්, කුසල්-අකුසල් පිළිබඳ හැඟීමකින් ද යුක්ත ව, තිසරණ, පන්සිල්, අටසිල් ආදි සීල ප්‍රතිපදා පිළිබඳ මනා දැනුමකින් හා හික්මීමකින් ක්‍රියා කිරීමෙන් ජීවිතයට පැහැදිලි, නිරවුල් අවබෝධයක් හා සතුටක් ළඟා කරගත හැකි ය. අභිධර්මය පිළිබඳ දැනුම පුළුල් කරගැනීමෙන් හා භාවනා අත්දැකීම් තුළින් මෙලොව පරලොව දෙලොව ම සුගතගාමි මාර්ගයට පිවිස, සසර ගමනේ කෙළවරට ළඟා වීමේ ශක්තිය බුද්ධ දේශනා අනුව යෑමෙන් උදා වන බව සත්‍යයකි. බාල – තරුණ – මහලු (වැඩිහිටි) සැමට මෙම දහම ප්‍රායෝගික ය; සර්වකාලීන ය.
බෞද්ධ ජීවන මාර්ගය කුමක් දැ යි හරිහැටි උගෙන, අවබෝධ කරගෙන, අනුගමනය කිරීම යහපත් ජීවිතයකට ජයග්‍රාහි ජීවිතයකට මග යි. එය සුබවාදි සිතිවිල්ලෙන් ජීවිතය දෙස බැලීමට හුරු කරයි. කලකිරීම වෙනුවට ප්‍රබෝධය ළඟා කරදෙයි.

“යෝච බුද්ධං ච ධම්මං ච
සංඝං ච සරණං ගතෝ
චත්තාරි අරිය සච්චානි
සම්මපඤ්ඤාය පස්සති.”
සංඝං ච සරණං ගතෝ
චත්තාරි අරිය සච්චානි
සම්මපඤ්ඤාය පස්සති.”
නියම බෞද්ධයා තිසරණ සරණ යමින්, පන්සිල්හි පිහිටමින්, වරදින් මිදී, බෞද්ධ ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කරයි. තෘෂ්ණාව නැති කරමින්, දාන, සීල, භාවනා ආදි පින්කම්හි සිත – කය – වචනය යොදවමින්, තමාගේත් – අනුන්ගේත් යහපත උදෙසා ක්‍රියා කිරීම බෞද්ධයාගේ ජීවන මාර්ගය විය යුතු යි. ජීවත් වන සුළු කාලය තමන්ට හෝ අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවන ලෙස ජීවත් වීමත්, එම කාලය තුළ වැඩදායි ක්‍රියාදාමයක නියැලීමත්, තමාගේ ජීවිත කාලය තුළ ඒ ඒ වයසට ගැළැපෙන පරිදි යුතුකම් හා වගකීම් හරිහැටි ඉටු කිරීමත් නිරාමිස පී‍්‍රතියට හේතු වන බව සිහියට ගනිමු.
එවිට ජීවිතය ගැන එපා වීමක්, කලකිරීමක්, අසුබවාදි සිතිවිල්ලක් ඇති වන්නේ නැත. බුදුදහම තුළ, ලෝකයේ පැනනඟින ඕනෑ ම ප්‍රශ්නයකට, ගැටලුවකට ප්‍රායෝගික විසඳුම් ඇත. එබැවින්, නිසි අවබෝධයකින්, ධර්මානුකූල ව ජීවිතය ගෙවන්නේ නම ඔබට අපට ජීවිතය මිහිරි අත්දැකීමක් වනු ඒකාන්ත ය. එයම සසර ගමනේ කෙළවර පරම නිවීමට මාර්ගය හා අඩිතාලම ද වන්නේ ය.
No comments:
Post a Comment